වෙබ් ලිපිනය:

Friday, May 18, 2018

අවුරුදු තුනක කෙරුවාව

ටික කලකට පෙර ලංකාවේ ආණ්ඩු වෙනසක් සිදු වූ අතර, තව දුරටත් අලුත් නැති අලුත් ආණ්ඩුව බලයට පත් වී දැන් වසර තුනහමාරක් පමණ ගෙවී ගොස් තිබේ. ඇතැම් අයට අනුව ආණ්ඩුව පසුගිය කාලය තුළ ලංකාවේ ආර්ථිකය විශාල අගාධයකින් ගොඩ දමා ඇති අත‍ර තවත් අයට අනුව ආණ්ඩුව විසින් කර තිබෙන්නේ කිසිදු අවුලක් නොතිබුණු ඉටිකිරිස් ආර්ථිකය විශාල අගාධයකට ඇද දැමීමයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාවේ ආර්ථිකය ගැන සමාලෝචනය කරමින් සෑම වසරකම අප්‍රේල් මාසයේදී වාර්තාවක් පළ කරන අතර 2017 වසර සඳහා වන එම වාර්තාව මේ වන විට පළ කර තිබේ. එහි ඇති සංඛ්‍යාලේඛණ ඇසුරින් අපට 2014 හා 2017 වර්ෂ සසඳා බැලිය හැකිය. පහත වගුව එවැන්නකි.


මේ වසර තුන ඇතුළත රුපියල් වලින් බැලූ විට රටේ ආර්ථිකය 28.3%කින් ප්‍රසාරණය වී තිබේ. ඒ අතර රටේ ජනගහණයද 3.2%කින් වැඩි වී ඇති නිසා, ඒක පුද්ගල ආදායම වැඩි වී තිබෙන්නේ 24.2%කින් පමණි. කෙසේ වුවද, ඒ රුපියල් වලිනි. 2014 රුපියලක අගයට වඩා 2017 රුපියලක අගය අඩු බව කිව යුතු නැත. මේ තෙවසර තුළ ඇමරිකන් ඩොලරයක මිල 16.8%කින් ඉහළ ගියේ එබැවිනි. ඒ නිසා, ඩොලර් වලින් බැලූ විට ලංකාවේ ඒක පුද්ගල ආදායම වැඩි වී තිබෙන්නේ 5.9%කින් පමණි.

පසුගිය කාලය තුළ රජයේ ආදායම් 52.7%කින් වැඩි කරගෙන තිබෙන අතර වියදම් වැඩි වීම 43.3% මට්ටමට සීමා කරගෙන තිබේ. රටේ නාමික ආර්ථික වර්ධනය මෙන් දෙගුණයකට ආසන්න වේගයකින් රජයේ ආදායම් ඉහළ නංවා ගැනීම පහසු දෙයක් නොවේ. බදු හරහා ආදායම් වැඩි කරගන්නා අතරම රජයේ වියදම් සීමා කිරීම ආර්ථික වර්ධනයට අහිතකර ලෙස බලපාන බවද කිවයුතු නොවේ. ඒ නිසා, එවැනි ක්‍රියාමාර්ග ගන්නට ආණ්ඩුවකට විශාල ධෛර්යයක් අවශ්‍යය. මෙවැනි තත්ත්වයක් යටතේ පවා රජයේ අයවැය හිඟය 24.1%කින් ඉහළ ගොස් තිබීම ලංකාවේ රජය වැටී සිටින අගාධයේ ගැඹුර පෙන්නුම් කරයි.

අයවැය හිඟය තව දුරටත් වැඩි වීමේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය තෙවසර තුළ රාජ්‍ය ණය ප්‍රමාණය 39.5%කින් වර්ධනය වී ඇති අතර, දේශීය ණය ප්‍රමාණය 30.8%කින්ද, විදේශ ණය 51.6%කින්ද ඉහළ ගොස් තිබේ. රුපියල් වලින් බලන විට විදේශ ණය ප්‍රමාණය විශාල ලෙස වැඩි වූ සේ පෙනෙන්නට එක් හේතුවක් වන්නේ රුපියලේ අගය පිරිහීමයි. එහෙත්, ඩොලර් වලින් බැලුවත්, සිදුවී තිබෙන්නේ විදේශ ණය ප්‍රමාණයෙහි 20.8%ක වර්ධනයකි.

රාජ්‍ය අංශය මෙසේ වෙද්දී, පෞද්ගලික අංශයේ ක්‍රියාකාරිත්වයෙහි කැඩපතක් බඳු කොටස් වෙළඳපොළ සියලු කොටස් මිල දර්ශකය 12.7%කින් පහළ ගොස් ඇති අතර, වෙළඳපොල ප්‍රාග්ධනීකරණය 6.6%කින් පහළ ගොස් තිබේ. මේ දර්ශක පසුගිය කාලයේ සිදුවූ මන්දගාමී ආර්ථික වර්ධනයට අනුරූපය.

මහ බැංකුව විසින් රුපියල යම් ප්‍රමාණයකින් අවප්‍රමාණය වන්නට හැරියත්, අවශ්‍ය පමණට අවප්‍රමාණය වන්නට ඉඩ නොහැරීම නිසා ආනයන වියදම් 8.0%කින් ඉහළ යද්දී, අපනයන ආදායම් වැඩි වී තිබෙන්නේ 2.1%කින් පමණි. මෙහි ප්‍රතිඵලය ලෙස වෙළඳ ශේෂය 16.1%කින් ඉහළ ගොස් තිබේ. රුපියලේ අගය පහළින් තබා ගැනීම පිණිස නිල සංචිත විකිණීමේ ප්‍රතිඵලයක් ලෙස 3.0%කින් නිල සංචිත පහළ ගොස් තිබේ.

මේ අතර මහ බැංකුවේ සංචිත මුදල් 62.6%කින් විශාල ලෙස ඉහළ ගොස් ඇති අතර මෙය රටේ ආර්ථික වර්ධනයට අනුරූප මට්ටම ඉක්මවමින් විශාල මුදල් ප්‍රමාණයක් අලුතින් මුද්‍රණය කර සංසරණයට එකතු කිරීමකි. එහි ප්‍රතිඵලයක් ලෙස කොළඹ පාරිභෝගික මිල දර්ශකය ඉහළ ගොස් තිබෙන්නේ 16.2%කින් පමණක් නිසා ඉදිරි කාලයේදී උද්ධමන පීඩන ප්‍රශ්නයක් වන්නට ඉඩ තිබේ.

මේ රටේ ආර්ථිකයේ තත්ත්වයයි. අවුරුදු තුනක් තුළ රටේ ආර්ථික දර්ශක මේ අයුරින් වෙනස් වෙද්දී ඉකොනොමැට්ටාගේ බොජුන්හලටද මේ වන විට අවුරුදු තුනක් ගත වී තිබේ.

4 comments:

  1. බලාපොරෙත්තු වුනු ආයෝජන ආවෙ නැති එකත් මේකට හේතුවක් නේද?

    ReplyDelete
  2. ඉකොනොමැට්ටා,

    යහපාලන ආණ්ඩුව තරම් ජනතාව වෙනුවෙන් වැඩ සම්භාරයක් කල ආණ්ඩුවක් තවත් නැති බව නියෝජ්‍ය ඇමති කරුණාරත්න පරණවිතාන පවසයි.

    එය එසේ නොවන්නේ යයි කිසිවෙකු පවසන්නේ නම් තමන් එම අභියෝගයට මුහුණ දීමට සූදානම් යයිද ඔහු කියා සිටී.

    පසුගිය පලාත් පාලන මැතිවරණය වුවද තාවකාලික පරාජයක් යයි ඔහු සදහන් කරයි. (Ref:https://youtu.be/2qarXKDcVYs)

    කරුණාරත්න පරණවිතාන යමක් ඉගෙන ගත් මෝඩයෙකි. අද ඔහුටත් ඔහුගේ නායක චම්පිකටත්, වස විස නැති රතනටත් යන එන මං නැත​. ඉතිරිව ඇත්තේ පම්පෝරි කෙලීම පමණි. ජනයා අතරට යන්නට ඔවුන් එකෙකුටවත් දැක්මක් නැත​. රාජපක්‍ෂ මුව හමට තඩි බාමින් තමන් ශිල්ප කල ආයතනවලට නිගරු කරමින් මහජන මුදලෙන් යැපෙන සුදු අලින් ලෙස රටට බරක් වී කාලය කා දැමීම හැර වෙන කරනා කෙං ගෙඩියක් නැත​. යහපාලන ආණ්ඩුව වැඩ සම්භාරයක් කල බව කියනා මොවුන්ට කල වැඩ එකින් එක ගෙන විග්‍රහ කල හොත් පාරේ බැස යන්නට සිදුවන්නේ නැත​.

    ගොවි ජනයා අනාථ වෙද්දී කෝටි ගනන් වැය කර සැප වාහනවල සැරි සැරීම ආදී මෙකී නොකී සියල්ල විමර්ශණයක යෙදුන විට පරණවිතාන මෙතරම් උදම් අනන්නේ එක්කෝ මන්ද මානසිකයකු නිසා විය යුතුය​. නැතහොත් ඔහු යමක් කමක් ඉගෙන ගත් මෝඩ තකතීරුවකු නිසා විය යුතුය​. හැම උගතාම බුද්ධිමතකු නොවන බවට පරණවිතාන හොඳම උදාහරණයකි. වරක් ඔහු වඳුරන් මරා මස් විකුණන්නට යෝජනා කලේත් ඉහත කී උගත් කමෙත් බුද්ධිමත් කමෙත් වෙනස මනාව ප්‍රදර්ශණය කල නිසාවෙනි.

    ReplyDelete
  3. මම රාජපක්‍ෂ හොදා කියලනම් කියන්නෑ. මොකද රාජපක්‍ෂ හරියට කලානම් මෙහම වෙන්න නැ. මේක විශාල අඩුපාඩුව නම්,
    ආණ්ඩුව වියදම් සැහෙන්න වැඩි... කිසිම පර්යජෝනය නැතුව ආණ්ඩුව වියදම් වැඩි වීම අනුමටත කරන්න බැ.
    අනික තමා කොටස් මිල චා වෙන්න දීම.
    රුපියල බොරුවට අවප්‍රමාණය වීම කිසිම ආණ්ඩුවකට පාලනය කරන්න පුළුවන් කමක් නැහැ ආදායම වැඩි කරගන්නේ නැතුව. බොරුවට නය අරගෙන market එකට දාල රුපියල පාලනය කරන්න බැහැ (රාජපක්‍ෂ කරෙත් ඕක)

    ReplyDelete
  4. ඉටිකිරිස් ආර්ථිකයේ වගතුග ලියන ඉකොනොමැට්ටාගේ තෙවර්ෂ පුර්ණයට සුබ පැතුම් !!. අවුරුද්දක් විතර ආපස්සට ලිපි කියවන්න තියෙනවා.

    ReplyDelete

මෙහි තිබිය යුතු නැතැයි ඉකොනොමැට්ටා සිතන ප්‍රතිචාර ඉකොනොමැට්ටාගේ අභිමතය පරිදි ඉවත් කිරීමට ඉඩ තිබේ.

වෙබ් ලිපිනය: